counter stats
http://talkstime.com/

දේශපාලකයන්ගේ පාතාල වෑඩ එලිපිටම.

By - Thilina_admin
2017-10-28 05:11:10

දේශපාලනයේ පාතාල න්‍යාය භාරත හා දුමින්ද හරහා නැවත කියවීමක් සමහර අවමගුල් අවස්ථාවල පාංශකූලය දෙන්න ගියාම අපිට මුසාවාදා වේරමණී සික්කා පදය කඩන්න සිදුවෙනවා. ඒ මිනිසුන් ජීවත් වෙලා ඉන්න කාලයේදී හොද දේවල් කරන්නේ නැති නිසා”

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි

කතරගම කිරිවෙහෙර අභියසදී.

ලාංකීය දේශපාලනයේ දේශපාලකයෙක් අතින් වෙඩි වැදී තවත් දේශපාලකයෙකු මිය ගිය පුවතක් මෑත ඉතිහාසය තුල අපට අසන්නට ලැබූයේ 1997 පෙබරවාරී 27 වැනිදා රත්නපුර කුරුවිට ප‍්‍රදේශයෙනි.

ඒ මහින්ද රත්නතිලක හා සුසන්ත පුංචිනිලමේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා එක්ව තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන නාලන්ද එල්ලාවල මහතාව වෙඩි තබා ඝාතනය කිරීමයි.

ඉන් වසර 14 යි මාස 07 යි දින 11 ඉක්මගිය 2011 ඔක්තෝම්බර් 08 වැනිදා කොලොන්නාව මුල්ලේරියා ප‍්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අතින් තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඝාතනයට ලක්විය.

1974 දෙසැම්බර් 03 වැනිදා උපන් ආරාමදුර ලොරෙන්ස් රොමිලෝ දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ පාර්ශවය විත්තිය වූ අතර 1956 ජනවාරි 26 උපන් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මෙන්ම ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුද මෙහිදී ඝාතනයට ලක්විය.

වින්දිතයා,චූදිතයා මෙන්ම විනිශ්චයකරුවා යන ත‍්‍රීත්වාචරිතයම නියෝජනය කරන්නේ වත්මන් රාජපක්ෂ රෙජිමය නිසාවෙන්ම මෙහි වැරදිකරු දුමින්ද ද නැතිනම් භාරතද යන්න අප මෙහිදී සාකච්චා නොකරන්නෙමු. දුමින්ද හා භාරතගේ භාවිතාවන් හරහා අපට කියවාගත දේශපාලනයේ පාතාල න්‍යාය පමණක් අප මෙහි විග‍්‍රය සදහා උත්සාහ දරන්නෙමු. 2011 ඔක්තෝම්බර් 08 වැනිදා සිදුවීම සමග පාතාල ලෝකයේ රජකරවන්නන් රාශියකගේ නම් කරලියට පැමිණෙන්නට පටන් ගත්තේ දේශපාලනය හා පාතාලය අතර ඇති ලේ ඥාතීත්වය නැවතත් සිහිකැදවමිනි.

ඒ අතර පොලීසිය අතින් ඝාතනයට ලක්වූ පාතාල නායකයෙකුවන ඕල්කට්ගේ හොදම ගෝලයා වන මල්පුර ශාන්ත (මොහුද 2011/10/07 වැනි දින කොලොන්නාවේදී ඝාතනයට ලක්විය),සුමුදු,සුද්දා,රේල්පාරේ සංජීව,අංගොඩ සසංක, නුවන්, සුරංග, කරාටේ සංජීව, දෙමටගොඩ කරපිංචා රුවන්, බිත්තර චමින්ද, තත්පර කට්ටා හෙවත් ගලබොඩයා(මොහු යුධ හමුදා කොමාන්ඩෝ බලකායට අනුයුක්තව සිට සේවයෙන් පලා අවුත් සිටි අයෙකි),

එස්.එෆ්.සරත්(මොහු යුධ හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකුව සිට සේවයෙන් පහකල අයෙකි) යන පාතාල කෙරුමෝ විය. මොවුන් අතරින් කරාටේ සංජීව පමණක් භාරත ලක්ෂ්මන් හිටපු මන්ත‍්‍රීවරයාගේ පාර්ශවය නියෝජනය කල අතර අනෙක් සියළු දෙනා දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ පාර්ශවය නියෝජනය කලහ.

මෙම දේශපාලකයින් දෙදෙනාගේම පාතාල සම්බන්ධතා අද ඊයේ වර්ධනය වූවක් නොවේ. එය මොවුන්ගේ දේශපාලන ඉතහාසය තරම් දිගුවූවකි. 1979 කොළොන්නාව නගර සභා මැතිවරණයට භාරත ඉදිරිපත්වන විට ඔහුගේ වයස අවුරුදු 23කි. කොළඹ කේරි විද්‍යාලය හා ආනන්ද විද්‍යාලයෙන් අධාපනය හැදැරූ භාරතගේ පාසැල් මිතුරන් රාශියක් බොරැල්ල වනාතමුල්ල හා සිංහපත, තොටලග බන්ට් එක වත්ත, ග‍්‍රෑන්ඞ් පාස් ප‍්‍රදේශයේ තරුණයින් විය. එක්සත් ජාතක පක්ෂයේ පතාක යෝධයෙක් වූ කොළොන්නාව ප‍්‍රදේශයේ බල පරාක‍්‍රමය විහිදවූ වීරසිංහ මල්ලිමාරච්චිට එරෙහිව භාරත කොළොන්නාවේ දේශපාලනය අරඹන්නේ මෙම තරුණ තරුණියන්ගේ අවි බලයද අවශ්‍ය ඕනෑම මොහොතක සහායට ගනිමිනි.

මේ තත්වය මත 1980 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපතිධූරය පවා භාරතට හිමිවේ. 1984 පෙබරවාරි 22 වැනිදා විජය කුමාරණතුංග ශ‍්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමේදී චන්ද්‍රිකා කුමාරතුංග,ඔසී අබේගුණසේකර හා සමානව භාරත සිටගන්නේද ඔහු එවකට අභ්‍යන්තර සන්නද්ධ කල්ලියක් ලෙස ක‍්‍රියාත්මකවූ ප‍්‍රා හෙවත් කහ බළල් කණ්ඩායමට චන්දන කත‍්‍රිආරච්චි සමග නායකත්වය සැපයීම හේතුවෙනි.

කොලොන්නාව ප‍්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථාන 570ක් පවතින බව මාධ්‍ය වාර්තා කලේය. එය එජාපයේ වීරසිංහ මල්ලවාරච්චි ශ‍්‍රිලනිපයේ නාවලගේ බෙනට් කුරේ,භාරත ලක්ෂ්මන්,දුමින්ද සිල්වා කොලොන්නාවේ රජකරන කාලයන් පුරා අඩු වැඩි වශයෙන් පවත්වාගෙන ගිය තිප්පොලයන්ය.

භාරත එළිපිටම පාතාලය සම්බන්ධ කොට සිදුකල අවසාන මෙහෙයුම ලෙස හදුනාගත හැක්කේ 2003 නොවැම්බර් 03 වැනිදා රාත‍්‍රියේ බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයට කඩාවැදී සිදුකල ප‍්‍රහාරයයි. එවකට පැවැති එජාප රජයෙන් අමාත්‍යාංශ 03 ක් පවරා ගැනීමේ ගැසට් නිවේදනය ජනාධිපතිනියගේ නියමය අනුව මුද්‍රණාලය තුලට කඩාවැදී මුද්‍රණය කරවූයේ භාරත ප‍්‍රමුඛ මැර කණ්ඩායමයි.

මෙම ක‍්‍රියාවලිය සදහා ජනාධිපති ආරක්ෂක අංශයේද දායකත්වය භාරතට ලැබුණි. තමන් කල සේවාවන් වෙනුවෙන් චන්ද්‍රිකා පාලන සමයේ නිසි ඇගයීමක් නොලැබෙන තැන භාරත එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ සමග සමීප ඇසුරක් ආරම්භ කරන ලද්දේ මහින්දගේ හිත දිනාගනිමිනි. වරක් 2005 ජනාධිපතවරණ සමයේදී මහින්ද රාජපක්ෂ සමග වාදයට පැටලූණු ශ‍්‍රීපති සූරියආරච්චි මහතාට අරලියගහ මන්දිරය තුලදීම පහරදීමට පවා භාරත කටයුතු කලේය.

චන්ද්‍රිකාවාදීන්ට පහරදීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමන කරන සතුරු නොවන ප‍්‍රතිවිරෝධතා න්‍යාය භාරතටත් එලෙසම අදාල විය.මහ මැතිවරණයෙන් පරාදව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යෂ ජනරාල්ධූරය දරමින් සිටි භාරතව දේශපාලනික වශයෙන් නිහඩ කිරීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තෝරා ගනු ලැබූවේ 2007 නොවැම්බර් 13 වැනිදා එක්සත් ජනතා නිදහස් සංධානයට එක්වූ දුමින්ද සිල්වායි. එකල එජාපයේ බස්නාහිර පළාත් මන්ත‍්‍රීවරයෙකුව සිටි දුමින්ද දේශපාඥයකු ලෙසට වඩා කුප‍්‍රකටව සිටියේ බාල අපරාධ සිදුකරන්නෙකු හා ස්ත‍්‍රී දුෂකයෙකු ලෙසිනි. රජයට එක්වන කාලයේදී පවා දුමින්දට එරෙහිව අපරාධ නඩු 05 ක් අධිකරණයේ විභාග ත්‍වමින් පැවතුණි.

වර්තමානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරියක වන අනර්කලී ආකර්ශා විසින් ගොනුකල චෝදනා පත‍්‍රයක්ද ඒ අතර විය. පාතාලයේ කෙරුම් කරුවන් ලෙස කුප‍්‍රකටව සිටි කරාටේ ධම්මික,ප‍්‍රින්ස් කොලම්,ඇට චමින්ද, ඕල්කට් දුමින්දගේ ප‍්‍රබල ආධාරකරුවන් විය.

දුමින්ද හා මොවුන් කේරලයේ සිට කංසා ප‍්‍රවාහනය මෙන්ම බැංකොක් සට හෙරොයින් ප‍්‍රවාහනයද ව්‍යාපාර වශයෙන් සාර්ථකව කරගෙන ගියහ. රජයට එක්ව 2010 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දුමින්ද මහින්දගෙන් බලාපොරොත්තුවූයේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ‍්‍රිලනිප ආසන සංවිධායක කමය.

ඒ වන වට කෝට්ටේ ආධිපත්‍ය පතුරමින් සිටි එජාපයේ රවී සමග තරගයට දේශපාලනය කරන්නට කිසිවෙකුත් නොවීය.කෝට්ටේ ශ‍්‍රිලනිප ආසන සංවිධායකයාවූ රෝහිත බෝගොල්ලාගම වසරේ වැඩි කාලයක් සිටියේ විදේශ ගතවයි.

ඔහුට කෝට්ටේ නිශ්චිත ජන්ද පදනමක් හෝ නොවීය. නමුත් මහින්ද රාජපක්ෂ කලේ අප ඉහත පෙන්වා දුන් න්‍යාය මත එල්බ දුමින්දට කෝට්ටේ ආසනය වෙනුවට කොළොන්නාව ආසනය ලබාදීමයි. ජනාධිපති මහින්ද දුමින්දට කොලොන්නාව ලබාදීමෙන් බලාපොරොත්තුවූයේ භාරතව නිහඩ කරවීම වනා වෙනකක් නොවේ. එය මේ මැතිවරණ ප‍්‍රථිපලයෙන් මනාව පිලිඹිබුවී ඇත.

ඒ ප‍්‍රසන්න සෝලංගාරආරච්චිගේ ජයග‍්‍රහණයයි. මෙම මැතිවරණයේදී කොලොන්නාව මහ නගර සභාවේ නගරාධිපතිවූ ප‍්‍රසන්න භාරතගේ සමීපතමයෙකි. ඒ අනුව කොලොන්නාව තුල භාරතගේ ජන පදනම දෙදරා නොමැත.

දුමින්දව කොලොන්නාවේ ආසන සංවිධායක වීමෙන් භාරතට අහිමිවූයේ ඔහුගේ පාතාල සම්බන්ධතා පමණි. අප එසේ ප‍්‍රකාශ කරන්නේ භාරත සමග එදා සිටි පාතාල කෙරුමෝ රාශියක් අද සිටින්නේ දුමින්ද සමග වන බැවිනි. දුමින්දට අවශ්‍ය කලේ භාරතව ඝාතනය කිරීම විනා වෙනකක් නොවේ. මේ ඝාතන තර්ජන පිළිබදව 2011 මාර්තු මාසයේදී භාරත විසින් රහස් පොලීසියට පවා පැමිණිලි කර ඇත.

අප මෙහිදී කියවා තේරුම් ගත යුතු බරපතලම කරුණ වන්නේ භාරත වටා සිටි පාතාලයෝ දුමින්ද වඩා එක්රොක්වුනේ මන්ද යන්නයි. එනම් බලය නැමැති සාධකයයි.

දුමින්ද ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රීවන හෙයින් පාතාලයෝ දුමින්ද වටා ඒකරාශ‍්‍රී වීම ඉහල ගිය අතර මේ බව භාරතගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාවේ මුබ්බායි නුවරදී අත්අඩංගුවට පත් දෙමටගොඩ චමින්ද නැමැති සැකකරුවා කල පාපොච්චාරණයෙන්ම වටහා ගත හැක. "අපි ඉන්දියාවට ආවේ දුමින්ද මන්ත‍්‍රීතුමා තුවාල ලැබූ හින්දයි.මන්ත‍්‍රීතුමාට මාස දෙක තුනකින් සනීප වුනාම ලංකාවට එනවා. මොකද එතකොට අපිව අනිවාර්යෙන්ම මන්ත‍්‍රීතුමා බේරගන්න බව අපි දන්නවා”

සොත්ති උපාලිගෙන්, ගෝනවල සුනිල්ගෙන්,බැද්දගාන සංජීව,කඩුවෙල ධම්මික,නාවල නිහාල් ගෙන් යුගයක් අවසන් වුණ පාතාලය වම්බොට්ටා කල්ලියට එදරිව සිටි චණ්ඩි මල්ලිගෙන් අරඹා ආමි රොෂාන්, තාර අජිත්, කිඹුලා ඇල ගුණේ තවත් යුගයක් අවසන් කෙරුණු පාතාලය දේශපාලන න්‍යායක් ලෙස භාවිතා කිරීමගෙන් භාරත ඝාතනයෙන් අවසන් වේවා යන්න අපගේ ලක්වැසි සැමගේත් ප‍්‍රාර්ථනයයි.

-උපුටගැනිමකි-

http://talkstime.com/